ගත වූ වසර 137ක කාලය තුළ පෞඪවූත්, කීර්තිමත් වූත් අතීතයකට උරුමකම් කියන්නට කොළඹ ආනන්ද විද්‍යාලය සමත්ව ඇත. යටත් විජිත යුගයක ජාතික අවශ්‍යතාවක් මත ගොඩනැගුණු මෙම විද්‍යස්ථානය ජාතික නිදහස් සටනට මහත් ජීවයක් ලබා දෙනු ලැබුණි. බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ආදී විදේශීය විද්වතුන් ද අනගාරික ධර්මපාලතුමා වැනි ජාත්‍යාලයෙන් ඔදවැඩුණු ස්වදේශීය උගතුන්ගෙන් ආලෝකය ලද බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද ආදී අධ්‍යාපන විද්‍යස්ථාන ගොඩ නැගුණි.
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වන දින මරදානේ ධර්මෝපකාරී සමාගමට සම්බන්ධ විය. අනතුරුව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැළියක් පිටකොටුවේ දී පැවැත්වූ අතර මෙහි දී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරණ ස්ථානයෙහි බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් 1886 නොවැම්බර් මස පළමුවැනිදා ආනන්දයේ ආරම්භය සිදුව ඇත. අදට වසර 138 වෙනි ජන්ම දිනය සමරනු ලබයි.
සිසුන් 37 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වූයේ ඉංග්‍රීසි ජාතික සී.ඩබ්. ලෙඩ්බීටර් පියතුමා ය. පිටකොටුවෙහි මැලිබන් වීදියෙහි සමාරම්භය සිදු කෙරුණු අතර බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නම් මෙම විද්‍යස්ථානය කලක් ගත වන විට ඉඩ කඩ සීමා වීම නිසා කුමාර වීදියටත් ඉන්පසුව 1895 අගෝස්තු මස 07 වන දින වාසලමුදලි ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාට අයත් පරණවාඩිය නමින් හැඳින්වෙන වර්තමාන ස්ථානයෙහි ආනන්දය පිහිටුවනු ලැබීය. පරණවාඩිය නම් මෙම භූමිභාගය එවකට වීදිය බණ්ඩාර නම් මහ සෙනෙවියා පරදේශක්කාරයන් පලවා හැරීම සඳහා සේනා සංවිධාන කොට කඳවුරු බැඳ රණශූරයන් වාඩිලාගත් තැන “පරණවාඩිය” නමින් හැඳින්විය.
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශීය ආක්‍රමණවලින් දුක් ගැහැට විඳි සිංහල බෞද්ධයාට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමේ ඇරඹුණු මෙම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආනන්ද මහරහතන් වහන්සේගේ නාමය අනුස්මරණය කරමින් “ආනන්දය” යන නමින් නම් කිරීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා හික්කඩුවේ සුමංගල යන නාහිමිවරුන් විසින් තීරණය කරනු ලැබීය. ආනන්දයෙහි තේමා පාඨය වනුයේ "අප්පමාදෝ අමතපදං" යන්නය. “අප්‍රමාදීව කටයුතු කරන තැනැත්තා අමරණීයත්වයට පත්වේ” ය යන්නෙහි මෙහි අරුත වන අතර වචනාර්ථයට එහා ගිය ගැඹුරු අරුතක් මෙහි ගැබ්ව ඇත.
බෞද්ධකමත්, දේශීයත්වයත් සුරකිමින් ඉහළම අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඇරඹි මෙම විද්‍යාස්ථානයෙහි විදුහල්පතිධුරය දැරූවන් අතර ඒ.ඊ. බුල්ජන්ස්, ජේ.ටී. ඩේව්ඩිස්, එම්.ඩබ්. මුවර්, ෆ්‍රිට්ස් කූන්ස් ආදී විදේශිකයෝද වූහ. ආදි කර්තෘන් සිහිපත් කරන අද වන් දිනක අප ඉතා ගෞරවයෙන් කෘතවේදීව ඔවුන් සැමදෙන සිහිපත් කරන්නෙමු.
ඉන් පසුව විදුහල්පතිධූරය දැරූවන් අතර ආනන්දයෙහි ආදි ශිෂ්‍යයෙකු වූ සර් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විදුහල්පතිතුමන්ගේ පරිපාලන කාලය ආනන්දයේ විශේෂ කාල පරිච්ඡේදයක් විය.
අනතුරුව 1918 වර්ෂයෙහි විදුහල්පති ධුරයට පත් පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ පැමිණීම ආනන්ද ඉතිහාසයෙහි නව යුගයක ආරම්භය විය. මෙම කාල වකවානුව විවිධ ක්ෂේත්‍රයන්හි පරිවර්තන රාශියක් සිදු වූ යුගයකි. “දුටුගැමුණු අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කර පාසලට ස්ථීර ගොඩනැගිලි රාශියක් සිසු අයිතියට පත්කිරීම සුවිශේෂි සිදුවීමකි. එතැන් පටන් විද්‍යාලයෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ පී. ජී. මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද ආදී වූ ආදි විදුහල්පතිවරුන් සැම මෙවන් දිනක කෘතවේදීව සිහිපත් කරන්නෙමු. විදුහල්පති ධූරය දැරූවන් අතර ජී. ඩබ්. රාජපක්ෂ යුගය ද ඉතිහාසයට අයත් වන තවත් විශේෂිතම කාලපරිච්ඡේදයකි. මෙම කාලය තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ යන ජාතික විභාගවලින් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණ රාශියක් ලබා ඇත.
ආනන්දය අද පවතින තත්ත්වයන්ට පත් කරන්නට අවවාද අනුශාසනා කරමින් කටයුතු කළ සංඝ පීතෲන් වහන්සේලා ද මෙහි දී කෘතවේදීව සිහිපත් කරන්නෙමු. ඒ අනුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, කොටගම වාචිස්සර නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාශේකර අනුනාහිමි, හබරකඩ ඉන්දරතන නාහිමි යන යතිවරයන් වහන්සේලාගෙන් සිදු වූ සේවය අනුපමේය වේ. උන්වහන්සේලා මෙහි දී කෘතවේදීව සිහිපත් කරන අතර, ආනන්ද විද්‍යාලයෙහි බෞද්ධ සංගමය පිහිටුවා බෞද්ධ වත්පිළිවෙත් දරුවන්ට හුරුපුරුදු කරවන්නට මෙන්ම විවිධ සාමාජීය සේවාවන් රැසක් සිදු කර ආදි ආනන්දීය බෞද්ධ සංගමය පිහිටුවමින් විද්‍යාලයට මහත් සේවාවක් සිදු කරන කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ගෞරවාර්හ දිවියාගහ යසස්සි නාහිමියන් ඇතුළුව විශ්‍රාමික සියලු ධර්මාචාර්යයන් වහන්සේලාට දීර්ඝායුෂ පතමු.
එමෙන්ම අනඳ පුතුන් වෙනුවෙන් තම සේවා කාලය තුළ කටයුතු කළ විශ්‍රාමික ගුරුභවතුන් මෙන්ම සියලුම විශ්‍රාමික විදුහල්පතිවරුන් සැමට ද සෙත් ප්‍රාර්ථනා කරන්නෙමු.
වර්තමානයෙහි ආනන්දයේ නව විදුහල්පති ධූරය හොබවනුයේ ඩී.එම්.එල්.පී. දිසානායක විදුහල්පතිතුමන් ය. එතුමා කලක් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසත් වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙසත් සේවය කර ඇත. වර්තමානය වන විට ආනන්දය නව දිශානතියකට යොමු කරමින් පවතින නව තාක්ෂණය ඔස්සේ 21 වන සියවසේ කුසලතාපාදක අධ්‍යාපනයකට උචිත වන පරිදි විද්‍යාලයෙහි භෞතික සම්පත් සංවර්ධනය කර ඇත.
විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල වන පැවති ඕල්කට් ශාලාව විවිධ බාධා මැද ප්‍රතිසංස්කරණය කර, රැස්වීම් ශාලාවක් ලෙස මෙන්ම බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස පවත්වාගෙන යාම අගය කළ යුත්තකි. විද්‍යාලයෙහි ප්‍රාථමික අංශය, කුලරත්න ශාලාව, සම්බුද්ධ ජයන්ති මන්දිරය හා පස් මහල් ගොඩනැගිල්ලෙහි ද විවිධ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු වෙමින් පවතී.
විද්‍යාලයේ භෞතික සම්පත් දියුණුවට මෙන්ම මානව සම්පත් සංවර්ධයෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 වර්ෂයේ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනෙන්ම විශිෂ්ටතමයා බවට පත් වීමට ආනඳ පුතෙකු සමත්වීම ආනන්ද මාතාව ලැබූ අභිමානයකි. මේ වන විට අධ්‍යාපන සංවර්ධනය අතින් ඉහළම තැනකට ගෙන ඒමට හැකි වීම අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ජාතික විභාග ප්‍රතිඵලවලින් දැකගත හැකිය.
විද්‍යාලයීය උන්නතිය වෙනුවෙන් කැපවෙන වත්මන් ආදි ශිෂ්‍ය සංගමයෙහි සභාපතීත්වය දරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කීර්තිමත් ආදි අනන්දීය අතුල කළුආරච්චි මහතා ඇතුළුව සෙසු ආදි සිසුන්ට සෙත් පතන අතරම අභාවයට පත් කීරතිමත් ආදි ආනන්දීයයන් සැම කෘතවේදීව සිහිපත් කරන්නෙමු.
නව තාක්ෂණය හා සුසැඳි STEAM Education Concept අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙමින් පස්මහල් ගොඩනැගිල්ලෙහි දැනට සංවර්ධනය වන Center of Excellence ව්‍යාපෘතිය ආදි ආනන්දීය වෘත්තිකයන් විසින් සිදු කරන විශේෂ ව්‍යාපෘතියකි.
වර්තමානය වන විට ආනන්දයෙහි සිසුන් හත්දහසකට වැඩි සිසුන් ප්‍රමාණයක් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබන අතර ජර්මන් , හින්දි, ප්‍රංශ, ජපන්, කොරියානු සහ චීන ආදි විදේශීය භාෂාවන් මෙන්ම පාලි, සංස්කෘත යන පෙරදිග භාෂාවන් 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ ඉගැන්වීම සිදු කරනු ලැබේ.
ධර්මාචාර්යවහන්සේලාගේ අනුශාසකත්වය හා මගපෙන්වීම අනුව විද්‍යාලයේ සෑම කාර්යයක්ම සිදු කෙරෙන අතර , දෙමාපියන් හා පාසල් සංවර්ධන සමිතියේ සහය මෙන්ම ගුරු, සිසු සහ ආදි සිසු සැමගේ කැපවීම මෙහිදී සිහිපත් කළ යුතුය.
වර්තමානය වන විට ආනන්දය ක්‍රීඩා රැසකින් ජයග්‍රහණ රාශියක්ම ලබා ගත් අතරම ජාතික ශිෂ්‍ය භට ශූරතාවය වන හර්මන් ලූස් ජයග්‍රහණය වසර ගණනාවකට පසුව ආනන්දයට හිමි වීමද මෙහිදී සුවිශේෂී ජයග්‍රාහණයක් ලෙස සඳහන් කළ යුතුමය. ආනන්දය යනු තවත් විද්‍යාලයක්ම නොවේ. එය සුවිශේෂී වූ හර පද්ධතියකට යටත්ව, සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ.
1884 ජනවාරි මස පළමු වැනිදා සරසවි සඳරැස පුවත්පතෙහි සඳහන් වන පරිද්දෙන්ම සිංහල බෞද්ධයන් ගේ බූදලයක් ලෙස සැළකෙන ආනන්දය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට දේශමාමක බොදුනුවන් නොවිඳි ගැහැටක් නැති තරම්ය.
එදා මෙදාතුර ආනන්දය වෙනුවෙන් දිවි කැප කළ සියලුම ආදි ගිහි පැවිදි කර්තෘවරුන් ඉමහත් ගෞරවයකින් සිහිපත් කරන්නෙමු. එම කැපකිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ආනන්දය ආනන්දනීය වූ ඉසව්වකට වර්තමානය වන විට පියමන් කර ඇත.
ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදි කර්තෘවරුනි, ඔබේ විශිෂ්ට සේවාවත් කැපවීමත් ඉමහත් ගෞරවයකින් කෘතවේදීව සිහිපත් කරමින් ඔක්තෝබර් මස 31 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනාවක් සිදු කෙරෙන අතර නොවැම්බර් පළමුවෙනිදා ශාතාධික සංඝගත දක්ෂිනාවක් සිදු කෙරේ. ඔක්තෝබර් මස 21 වන දින සිට ඔක්තෝබර් 28 දින දක්වා ආදි කර්තෲන් සිහිපත් කරමින් ආදි කර්තෘ ගුණ සමරු දේශන මාලාවක් සිදු කෙරුණි.
ආදි කර්තෘවරුනි ඔබ සැමට මෙපින් බල මහිමයෙන් උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා! යි බැති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.